Sunday, April 7, 2013

මානසික ආතතිය (Mental Stress & Tension)නිහඬ මාරයෙකි



මානසික ආතතිය (Mental Stress)මෙය නූතන සමාජයේ දෛනික ජීවිතයේම එක්තරා අංගයක් ලෙස හැඳින්වීමද වරදක් නැත. එදිනෙදා ජීවිතය තුළදී අප විවිධ හේතූන්ගෙන් සුලබව මානසික ආතතියට පත් වේ.

උදාහරණ ලෙස අධ්‍යාපනය, පේ‍්‍රමය, රැකියාව, විවාහය, මහලූ විය, යන අවධීන් දැක්විය හැකිය. මේ ආකාරයෙන් සැලකූ විට මා මුලින් සඳහන් කල ආකාරයට මානසික ආතතිය අපගේ ජීවිතය හා බද්ධව පවතින තත්වයකි.

අද අප සියළු දෙනාට ජීවත් වීමට සිදුවී ඇත්තේ බොහෝ තරඟකාරී මෙන්ම කලබලකාරී පරිසරයක් තුළය. මෙය විශේෂයෙන්ම මානසික ආතතිය ඇතිවීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. ඔබ ජීවත්වන හෝ රැකියාව කරන පරිසරය තුළ නිරන්තරයෙන් මානසික ආතතිය ඇති කරවන සාධක පවතී ද? ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. එසේම මානසික ආතතියෙන් මිදීමට ඔබ අනුගමනය කරන ක‍්‍රම පිළිබඳවද සැලකිළිමත් වන්න. එය ඔබ ඉන් මිදීමට තබනා මූලික පියවර වේ.

මෙම විවිධ හේතූන් නිසා මිනිසුන් මානසික ආතතියට පත්වීම අපට නොසලකා හැරීමට නොහැකිය. ඊට හේතුව මෙම තත්වය දිගුකාලීනව පැවතීම තුළින් මිනිසුන් විවිධ කායික හා මානසික රෝග වලට පමණක් නොව විවිධ ආබාධ වලටද ගොදුරු විය හැකි වීමයි. මානසික ආතතිය නිසා බහුලව හටගන්නා කායික රෝග අතර අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා රෝග, බඬේ ඇතිවන ආම්ලික රෝග හා තට්ටය පෑදීම වැනි රෝග තත්වයන් දැක්විය හැකිය. එසේම මෙම තත්වය දිගුකලක් පැවතීම තුලින් නොයෙක් මානසික රෝගයන් වර්ධනය වීම කෙරෙහිද අහිතකර ලෙස බලපෑම් ඇතිකරයි. කාන්සාව, විශාදය, නින්ද නොයෑමේ ගැටළු, ආහාර ගැනීමේ ගැටළු, සිතුවිලි වල විකෘතිතා, හදිසි කෝපය, නොසන්සුන් බව, සියදිවි නසා ගැනීමද මේ අතර ප‍්‍රමුඛ ස්ථාන ගනි. මේ තත්වයන් වර්ධනය වීමට බලපාන මූලික කරුණු ලෙස පෙන්වා දිය හැකි වන්නේ අප විසින් මානසික ආතතිය (Mental Stress) සුළුවෙන් සිතා නොසලකා හැරීමත්, එසේත් නොමැති නම් මානසික ආතතියෙන් මිදීම සඳහා නොයෙක් ඹෟෂධ වලට පුරුදුවී සිටීමත්ය. මානසික ආතතියෙන් මිදීමට නොයෙක් නිද්‍රා ඹෟෂධ වලට හුරුවීම තවත් බොහෝමයක් කායික හා මානසික රෝග වලට අත වැනීමක් ලෙස පෙන්වා දිය හැකිය. අප විසින් ලබාගන්නා සෑම ඹෟෂධයකම අතුරු ආබාධයන් පවතින බව වෛද්‍ය විද්‍යාත්මකවද තහවුරු කර තිබේ.

මෙම තත්වය එක් එක් පුද්ගලයාට බලපානු ලබන ආකාරය විවිධ වේ. ඔබත් යම් හේතුවකින් මානසික ආතතියෙන් පෙලෙනා බව හැෙඟ් නම් ඉක්මනින්ම මනෝ විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති, වෛද්‍ය වරයෙකු, මනෝ චිකිත්සකයෙකු හෝ මනෝ විද්‍යා උපදේශකයෙකු හමුවන්න. . මා මෙහි පහතින් දැක්වා ඇති ප‍්‍රශ්නාවලියට නිවැරදි පිළිතුරු ලබාදීම මගින් ඔබ තුල පවතින මානසික ආතති තත්වය පිළිබඳව ඔබට යම් නිගමනයකට පැමිණිය හැක. වෛද්‍යවරයෙකු හෝ මනෝ චිකිත්සකවරයෙකු මුණගැසීමේදී එය ඔබට බෙහෙවින් උපකාරී වේ. මානසික ආතතියෙන් මිදීම සුවදායක ජීවිතයක් සඳහා අවශ්‍යම සාධකයක් බව මතක තබා ගන්න. ජීවිතයේ සතුට සෑම විටම රැක ගැනීමට උනන්දු වීම තුළින් ඔබට මානසික ආතතියෙන් තොර සාර්ථක ජීවිතයක් ගතකිරීමට හැකි වනු බව නොවනු මානය.

මානසික ආතතිය කෙරෙහි බලපාන අසුභවාදී ප‍්‍රතිචාරයන්


  • සුළු ප‍්‍රශ්ණ හා කලකිරීම් ඔබව බොහෝ සෙයින් කලකිරීමට පත් කරනවාද?
  • ජීවිතයේ සුළු සතුටුදායක අවස්ථා ඔබව සෑහීමකට පත්කිරීමට අසමත්ද?
  • ඔබට ජීවිතයේ දුක්මුසු අවස්ථා ගැන සිතීම අත්හල නොහැකිද?
  • ඔබ ඔබගේ ආත්ම විශ්වාසය පිළිබදව සෑහීමකට පත් නොවන්නේද?
  • ඔබට නිතරම වෙහෙසකාරී බවක් දැනෙනවාද?
  • ඔබ සුළු ප‍්‍රශ්ණයකින් පවා ක්ෂණික කෝපයට පත්වනවාද?
  • ඔබගේ ආහාර ගැනීමේ හා නිදා ගැනීමේ රටාවල වෙනසක් ඇතිවී තිබේද?
  • ඔබ දිගුකාලීන වේදනා, හිසේ කැක්කුම් හෝ පිට කොන්දේ වේදනා වලින් පීඩා විඳිනවාද?

ඉහත දක්වන ලද ප‍්‍රශ්ණ බොහෝමයකට ඔබගේ පිළිතුර ”ඔව්” නම් ඔබ තුළ ඇති මානසික ආතතිය අඩුකර ගැනීමට හා පාලනය කරගැනීම සඳහා පහත දී ඇති යෝජනා කෙරෙහි අවධානය යොමු කරන්න.

  • යථාර්ථවාදී වන්න! යම් යම් ක‍්‍රියාකාරකම් මගින් ඔබව යථාර්ථයෙන් ඈත් කරයි නම්, ඒවායින් අත් මිදෙන්න.
  • ඔබ සාර්ථක පුද්ගලයෙකු වීමට අධිෂ්ඨාන කරගන්න! කිසිම අයෙකු පරිපූර්ණ නොවේ. එමනිසා ඔබගෙන් සහ අන් අයගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු නොවන්න.
  • භාවනා කරන්න! දිනකට විනාඩි 10ක් හෝ 20ක්.
  • සිතින් මවාගන්න! මානසික ආතති අවස්ථාවක් සාර්ථකව හසුරුවා ගන්නා ආකාරය.
  • එක් වතාවකට එක් වැඩක්! ප‍්‍රධාන කාර්යයට ප‍්‍රමුඛස්ථානය දීම.
  • විනෝදාංශයක යෙදෙන්න! එය ඔබට කණස්සල්ලෙන් මිදීමට අවස්ථාව ලබාදේවි.
  • සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවන්න! මනා පෝෂණයෙන්, ප‍්‍රමාණවත් විවේකයකින්, ක‍්‍රමවත් ව්‍යායාම තුළින්, සීමිත කැෆේන් හා මධ්‍යසාර භාවිතයෙන්, සමබර වැඩ වල හා ක‍්‍රීඩා වල යෙදීමෙන්.
  • ඔබගේ හැගීම් බෙදාගන්න! පවුලේ සමාජිකයන් හා මිතුරන් අතර. තනිව විඳගැනීමට උත්සාහ නොකරන්න.
  • අවස්ථානුරූපී වන්න! නම්‍යශීලී වන්න.
  • විවේචන සතුටින් බාරගන්න! අගය කිරීම් පමණක්ම අන් අයගෙන් බලාපොරොත්තු නොවන්න



උපුටා ගැනීම - D.S හේවගේ,
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක,
”සිත් ගිමන්හල” මනෝ චිකිත්සන හා උපදේශන මධ්‍යස්ථානය , පේරාදෙණිය, ශ‍්‍රී ලංකා.