Sunday, June 30, 2013

සුරාව හා මානය



සමහරක් අපේ සිංහල බෞද්ධයින්ට මානමදය වැළඳී ඇත ......

ලෝකයේ පුද්ගලයන් මත්වන ආකාර දෙකකි. එනම් සුරාව හා මානය වශයෙනි. මෙයින් සුරාව නිසා ඇතිවන මත් බව හෙවත් මදය කෙටිකාලීන වේ. එහෙත් යමෙකු මානය නිසා මත්වුවහොත් ජීවිත කාලය පුරාවට පැවතිය හැක. සත්වයනට මානය නිසා ඇති වනුයේ මෙලොව පිරිහීම, පරලොව පිරිහීම හා මරණින් පසු අපාගතවීම පමණි.

මොනයම් හෝ කාරණයක් නිසා මත්වීම ,උඩඟුවීම බුදු දහමට අනුව මානමදය ලෙස විස්තර වේ. එක් අතකින් එය චිත්තෝපක්ලේෂ ධර්මතාවයකි.තවත් පැත්තකින් වඤ්චක ධර්මයකි. එක්දහස් පන්සියයක් වූ ක්ලේෂ ධර්ම අතර “මානය” එකකි. යමෙකු මානය නිසා මත් වුවහොත් ඔහුට වැරැද්ද නිවැරැද්ද අවබෝධ නොවේ. වනයෙහි යන අන්ධ ඇතෙකු සේ බොහෝ පිරිස් සමඟ අහේතුකව ගැටේ.

තමාගේ තරම නොදැන ක්‍රියා කරන්නා කෙතරම් උත්සාහවත් පුද්ගලයෙක් වුවද විනාශයට පත්වීම වැළැක්විය නොහැක. මානය උමතුවක් හෙවත් පිස්සුවක් ලෙස අටුවාචාරින් වහන්සේ හඳුන්වා ඇත්තේ ද එහෙයිනි.

අභිධර්ම පිඨකයේ විභංග ප්‍රකරණයෙහි මද 27 ක් දක්වා ඇත. එය මෙසේය.

ජාති මදෝ:– මගේ ජාතිය ශ්‍රේෂ්ඨ අතර අන්‍ය ජාති පහත්ය මම උතුම් ජාතිකයෙකි. ආදි වශයෙන් ඇතිවන මත් බව මෙයින් අදහස් වේ.

ගොත්ත මදෝ :- තමා අයත් පෙළපත, එම නාමය නිසා ඇතිවන මත් බව,

ආරෝග්‍ය මදෝ :- නිරෝගි බව නිසා ඇතිවන මානය,

යොබ්බන මදෝ :– යෞවන බව නිසා ඇතිවන මානය

ජීවිත මදෝ :- දීර්ඝායුෂ ලැබීම හේතු කරගෙන ඇතිවන මානය

ලාභ මදෝ :– බොහෝ ආදායම් ඇතිබවන් අන්‍යයන් දිළිඳු බවත් යන හැඟීම නිසා ඇති වන උඩඟුබව

සක්කාරමදෝ :- බොහෝ පිරිසකගෙන් සත්කාර සම්මාන ලැබීම නිසා ඇතිවන මත්වීම

ගරුකාර මදෝ :– අනුන් තමාට ගරුකිරීම නිසා අති වන මත්බව

පුරෙක්ඛාර මදෝ :– දුෂ්කර අවස්ථාවක අන්‍යයන් උපදෙස් ලබා ගැනීමට තමා තෝරා ගන්නවා යැයි ඇතිවන මදය

පරිවාර මදෝ :- බොහෝ පිරිසක් තමා වටා ඇතැයි පිරිස් බලයෙන් මත්වීම

භෝග මදෝ :– තම ජීවිතය ගෙන යාමටත් වඩා බොහෝ ධන සම්පත් ඇති බව හේතුකර ගෙන ඇතිවන මත්බව

වත්තා මදෝ :– ලස්සන රූපයක් ලැබීම නිසා ඇති වන මත් බව

සුත මදෝ :- තමාට වැනි උගතෙක් නැතැයි ඇතිවන මත් බව

පටිභාන මදෝ :– අන්‍යයන්ට වඩා බොහෝ උගත්ය යන හැඟීම

රත්තඤ්ඤු මදෝ :- අන්‍යයන්ට වඩා පැරැණි තොරතුරු දන්නා බව

ආරෝහ මදෝ :- අන්‍යයන්ට වඩා තමා උස්ය යන හැඟීම

පරිනාහ මදෝ :– උස සහ මහත නිසි ආකාරව ඇතැයි යන හැඟීම

මෙම කාරණාවන්ට අමතරව පිණ්ඩපාත, අනවඤ්ඤත ,ඉරියාපථ, ඉද්ධි, යස, සීල, ක්‍ඛාන, සිප්ප, සන්ඨාන, පාරිපුරි වශයෙන් මද 27 සංඛ්‍යාත්මක දැක්වේ.

ඉහත කාරණා සියල්ල පුද්ගලයෙකු තුළ පවතී නම් එය යහපත්ය. මෙහි අයහපත වෙන්නේ ඒ හැම කාරණා නිසා මත්වීමය. උදාර අදහස් ඇත්තවුන් කිනම් සම්පත ලැබුවත් උඩගු නොවේ.

වැලිවිට සරණංකර සංඝරාජයාණනන් වහන්සේ තම උළුවස්සෙහි, “උඩඟු නොව මහණ” ලෙස සටහන් කළේද එහෙයිනි.
යමක් පවතිනවා යනු එය නිරන්තරව වෙනස් වීමයි.මෙය තේරුම් නොගෙන ජාතිය, යෞවන බව, ධනය බලය නිසා මත්වන්නෝ මහත් විපත් ඇතිකර ගනිති. බොහෝ දේ ලැබීම මත්වීමට කාරණයක් කර නොගෙන නිහතමානී විය හැකි නම් වළාවෙන් මිදුන සඳ මෙන් ඔහු බැබළීමට පත් වේවි.

- කොල්ලුපිටිය වාලුකාරාමවාසී සියඹලාගොඩ ධම්මින්ද හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි

No comments:

Post a Comment