Sunday, June 30, 2013

ඔබත් ඔබේ පෙම්වතාත් අතර ඇත්තේ සැබෑම ආදරයක්ද ?




ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමේ දී වගේම විවාහයක් කර ගැනීමේදීත් අප විවිධ කරුණු ගැන සොයා බලනවා. බාහිර පෙනුම, දෙදෙනාගේ අදහස් හා රුචි අරුචිකම්, ආදායම් මාර්ග වැනි කරුණු මේ අතරින් ප්‍රධානයි. මෙහිදී අදහස් හා රුචි අරුචිකම් ගැලපිය යුතුයි කියන මතය නම් නිවැරදි එකක් නොවෙයි. පුද්ගලයන් දෙදෙනකුගේ අදහස් එකිනෙකට ගැළපෙන්නෙ නැහැ. එහෙම ගැළපෙනවා නම් ඒ ජීවිතේ රසවත් වෙන්නෙත් නෑ.


කොහොම වුණත් විවාහයකදී ඔය කරුණු සියල්ලටම වඩා සැලකිල්ලට ගත යුතු කාරණයක් තිඛෙනවා. ඒ තමයි ආදර සම්බන්ධතාවයකින් විවාහ වෙනව නම් අපි දෙන්නා ඇත්තටම ආදරෙයිද?” කියන කාරණාව සහ යෝජිත විවාහයක් නම් ‘අපි දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙමින් තිඛෙනවාද’ කියන කාරණය.


ආදරය කියලා බොහෝ දෙනෙක් වටහා ගෙන ඉන්නෙ අයිති කර ගැනීම යි. නමුත් ආදරය සහ අයිති කර ගැනීම අතර ලොකු වෙනසක් තියනවා. ආදරය කියන්නෙ මානසික සුව සහනය ඇති කරවන හැගීමක් අයිති කර ගැනීම කියන්නෙ මනසට පීඩා ඇති කරවන කාරණයක්.



අයිති කර ගැනීම කියන්නෙ මොකක්ද?


අපි සාමාන්‍යයෙන් අයිති කර ගන්නේ භාණ්ඩයි. ඒ අනුව ඇඳුම් පැළඳුම් ගෙදරට වුවමනා කරන විවිධාකාරයේ භාණ්ඩ, මෝටර් රථයක් මේ ආදී වශයෙන් නොයෙකුත් දේවල් මේ භාණ්ඩ අතරට ගැනෙනවා. මේ භාණ්ඩවලට බිල්පත් , සමහර ඒවාට වගකීම් සහතික, වාහනයක් නම් ‍පොතක් ආදී වශයෙන් ලැඛෙනවා. අපි මේ භාණ්ඩ ගෙදර තියා ගන්නෙ අපට ඕනෑ හැටියට අපි කැමති තැනක. මේ තමයි අයිති කර ගැනීමේ ස්වභාවය. ඒවා අපට අවශ්‍ය විදිහටම පැවතිය යුතුයි.


ඔබ ආදරය කරනව කියලා හිතාගෙන ඉන්නේ මේ ස්වභාවයටද?

අයිති කර ගැනීම කියන සංකල්පයේදී මූලික වශයෙන් බලපවත්වන කරුණු දෙකක් තිඛෙනවා.





නීති දැමීම


ඇඳුම් පැළඳුම් ගැන, ඇසුරු කරන යහළු යෙහෙළියන් ගැන යන එන ගමන් බිමන් ගැන යනාදී හැම දෙයක් ගැනම නීති රීති පැනවීම මෙහි ස්වභාවයයි. ඒ කියන්නෙ භාණ්ඩයක් මෙන් අපට අවශ්‍ය විදිහට පැවතීමයි. ඒ අනුව නීති එකක් හරි කැඩුවොත් බොහෝ සෙයින් අනෙකා සමග කෝපයට කනස්සල්ලට පත් වෙනවා.


නිතර පරීක්ෂා කිරීම


ඉන්න තැන ගැන විමසමින් නිතර දුරකථන ඇමතුම් දීම, මොකද කරන්නෙ. කවුරු එක්කද ඉන්නෙ ආදී වශයෙන් පරීක්ෂා කිරීම මේ අය තුළ දැකිය හැකියි. මේකත් භාණ්ඩය ගැන සැලකිලිමත් වීම ගැන තමයි. ඒ අනුව තමන්ට නොකියා හදිසියෙන්වත් කොහෙ හරි ගියොත් ඔවුන් තදබල කෝපයට සහ හිත් වේදනාවට පත් වෙනවා. මේ තත්ත්වය වැඩි දියුණු වුණොත් ලිංගික ඊර්ෂ්‍යාව  නම් මානසික ආබාධය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එවැනි ආබාධයක් ඇති වුණොත් ඒ පුද්ගලයා නිසා සහකාරිය/සහකාරු විශාල මානසික පීඩනයකට ලක් වීම වළක්වන්න බෑ. ඇතැම් විට ඒ නිසාම ඇය/ඔහු විශාද රෝගයට ලක්වීමට බහුල අවකාශයක් තිඛෙනවා.
අයිතිකර ගැනීමේ ස්වභාවය කියන අයගේ මූලික ලක්ෂණ වන්නෙ මේවායි. නමුත් ගමනක් බිමනක් යාමේ දී ආරක්ෂාව තිඛෙනවද? ප්‍රමාණවත් තරමට මුදල් තිඛෙනවද? කෑවද බිව්වද අසනීපයක් තිඛෙනවා නම් එයට ප්‍රතිකාර ගත්තද ආදී වශයෙන් සොයා බැලීම මෙම පරීක්ෂා කිරීම යටතට ගැනෙන්නෙ නෑ.



අයිති කර ගැනීම කියන ක්‍රියාවලිය නිතරම දෙදෙනාටම මානසික වදයක්. අපි හිතමු මේ අයිතිකර ගැනීමේ ක්‍රියාවලිය වැඩියෙන්ම කරන්නේ පෙම්වතා කියලා. එවිට එම පෙම්වතා නිතරම සිටින්නෙ පෙම්වතිය ගැන බියකින්. එයා මට අහිමි වෙයිද කියන පීඩාව ඔහුට නිතරම වද දෙනවා. අයිතිකර ගැනීමට ලක් වන පෙම්වතියට පෙම්වතාගෙ මේ හැසිරීම් ලොකු මානසික වදයක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. 


අපි මුලින්ම කියූ භාණ්ඩයක් අයිති කර ගැනීමේ ක්‍රියාවලියට මේකත් සමානයි. නමුත් සමහර පෙම්වතියන් වගේම පෙම්වතුනුත් ඒ විදිහට තමන් ගැන සොයා බලනවට කැමතියි. ඔවුන් හිතන්නෙ ආදරය කියන්නෙ ඒක කියලයි. ආදරය නිසා කරන සොයා බැලීම කියන්නෙ නීති දැමීම හෝ නිතර සෝදිසි කිරීම කියලා ඔබ හිතනව නම් ඔබට වැරදිලා. කිසිම සතුටක් නැති මානසික පීඩනයක් තමයි අයිති කර ගැනීම කියන්නෙ. ආදරය කිරීම කියන්නෙ ඒ විදිහෙ මානසික ආතතිය ඇති කරවන තත්ත්වයක් නමෛයි. ජීවිතයේ සතුට, සැපත, සුවය, කායික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරවන දෙයක් තමයි ආදරය කියලා කියන්නෙ. ඒ ඇතුළෙ ගැබ්වෙලා තියෙන්නෙ අනෙක් පුද්ගලයා සතුටු වන තරමටම ඒ දෙස බලා තමනුත් සතුටු වීමයි. ඒ ආදරය තුළ බය හෝ සැකය නෑ. ඒ වගේ ආදරයකින් බැඳී සිටින දෙදෙනකුගේ විවාහයන් ඉතාම සාර්ථක එකක් වේවි.

උපුටා ගැනීම - මානසික රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය

No comments:

Post a Comment